මුත්‍රාශ්මරී (මුත්‍රා ගල්)
මුත්‍රණ ව්‍යුහය ආශ්‍රිතව ඇතිවන ගල් විශේෂයක් මුත්‍රාශ්මරී ලෙස හඳුන්වයි. පොදු ව්‍යවහාරයේදී මුත්‍රා ගල් ලෙස හඳුන්වයි. මිනිසාට ඇතිවන දැරීමට අපහසුම වේදනාවන් හතරක් පිලිබඳව සඳහන්වේ. මුත්‍රා ගල් නිසා හටගන්නා වේදනාව ඉන් එකකි. ආයුර්වේදයේ එම වේදනාව යමපල්ලකු විසින් පෙලන විට ඇතිවන වේදනාව හා සම කොට ඇත.
මුත්‍රා ගල් ඇතිවීමේ ප්‍රවණතාව කාන්තාවන්ට වඩා පුරුෂයන්ට වැඩි බව පරීක්ෂණ වලින් හෙලිවී තිබේ.
මුත්‍රා ගල් ඇතිවීමට බලපාන හේතු
මුත්‍රා ගල් ඇතිවීමට පැහැදිලි හේතුවක් සොයාගෙන නොමැත. නමුත් අවධානම් සාධක කිහිපයක්වේ.
1. උණුසුම් දේශගුණය - උණුසුම් දේශගුණය සහිත පරිසරයේදී ඇතිවන විජලනයේ ප්‍රතිඵලයක් ලෙස සාන්ද්‍ර මුත්‍ර නිපදවීම.
2. පානය කරන ජල ප්‍රමානය අඩු වීම.
3. මුත්‍රා වල සංයුතිය වෙනස් වීම.
4. මුත්‍රන ව්‍යුහය ආශ්‍රිතව ඇතිවන ආසාදන.
5. රුධිරයේ කැල්සියම් ප්‍රමාණය වැඩි වීම.
පැරා තයිරොයිඩ් ග්‍රන්තියේ ක්‍රියාකාරීත්වය වැඩි වීම. විටමින් D වැඩිපුර ගැනීම වැනි හේතූන් මත රුධිරයේ කැල්සියම් ප්‍රමාණය වැඩිවේ.
6. මුත්‍රා සමග වැඩි වශයෙන් කැල්සියම් පිටවීම
රුධිරයේ කැල්සියම් ප්‍රමාණය වැඩි වීම.
කැල්සියම් සහිත ආහාර වැඩිපුර ගැනීම.
ව්‍යායාම රහිතව එකතැන දිගුකලක් සිටීමේදී ශරීරයේ අස්ථි වලින් කැල්සියම් රුධිරයට එකතුවීම.
7. රුධිරයේ යුරික් අම්ලය වැඩි වීම සහ මුත්‍ර සමග වැඩිපුර යුරික් අම්ලය පිටවීම
8. වකුගඩු ආබාධ e.g.- Polycystic kidney
9. මුත්‍රාශයෙන් ම්‍රත්‍රා බැහැරවීම අවහිරවීම - මුත්‍ර මාර්ගය සිහින්වීම
10. පුරස්ථි ග්‍රන්ථිය විශාල වී අවහිර වීම
11. මුත්‍රාශයේ ස්නායු නිසි පරිදි ක්‍රියා නොකිරීම
12. විටමින් A ඌනතාවය
ලක්ෂණ
1. වේදනාව ප්‍රධාන ලක්ෂණයකි. නාභිය වස්තිය, කටී ප්‍රදේශය ආශ්‍රිතව මෙම වේදනාව පවතී. මෙම වේදනාව ඉතා තියුණු වූ හෝ එකදිගටම පවතින අතර වරින් වර ද ඇතිවිය හැකිය. මුත්‍ර මාර්ගයේ අවහිරතා පවතීනම්, අධිකව දියර පානය කලවිට, මධ්‍යසාර පානය කලවිට හෝ මුත්‍රා කාරක ඖෂධ ගත් විට වේදනාව දැඩි වේ.
2. මුත්‍ර බැහැර කිරීමේ අපහසුතාව.
3. සිහින් ධාරාවක් ලෙස මුත්‍රා පිටවීම හෝ බින්දු වශයෙන් මුත්‍රා පිටවීම.
4. මුත්‍රා පිටකිරීම අවසානයේදී තදබල වේදනාවක් ඇතිවීම
5. මුත්‍ර සමග රුධිරය පිටවීම
6. මුත්‍රා පිටකිරීමේදී දාහය ඇතිවීම
7. මුත්‍රා පිටකිරීමේ වාර ගණන වැඩි වීම
8. ඔක්කාරය හා වමනය
රෝගය හඳුනා ගන්නා අන්දම
මූලික වශයෙන් රෝගියා සමග සාකච්ඡා කොට රෝගියාගේ රෝග ඉතිහාසය පිලිබඳ, ගන්නා ආහාර පිලිබඳ, වාසයකරන ප්‍රදේශය පිලිබඳ රැකියාව පිලිබඳව විමසා බැලිය යුතුය.
පරීක්ෂණ ලෙස :
මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීම [UFR]
X කිරණ පරීක්ෂාව [X-Ray KUB]
රුධිරයේ යූරියා ප්‍රමානය පරීක්ෂා කිරීම
රුධිරයේ ලවණ ප්‍රමානය පරීක්ෂා කිරීම
රුධිරයේ ක්‍රියටීනීන් ප්‍රමානය පරීක්ෂා කිරීම
IVP පරීක්ෂනය [Intra Venous Pyelogram ]
USS පරීක්ෂනය [Ultra Sound Scan]
CT scan පරීක්ෂනය MRI පරීක්ෂනය
ප්‍රතිකාර යෙදීම
මුත්‍රාගල් මුල් අවස්තාවේදී භේෂජ සාධ්‍ය වේ. එනම් ඖෂධ මගින් ප්‍රතිකාර කල හැක. මුල් අවස්තාවේදී ප්‍රතිකාර නොගැනීමෙන් ශල්‍ය සාධ්‍ය වේ. එනම් ප්‍රතිකාර සඳහා ශල්‍යකර්ම කල යුතුය.
ඉහත රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම්,
දියර වර්ග වැඩිපුර පානය කල යුතුය. දිනකට වතුර බෝතල් හයක් (6) පමණ පානය කල යුතුය. (විශේෂයෙන් උණුසුම් හා වියලි දේශගුනයක් පවතින විට)
විටමින් D, කැල්සියම් හා ඔක්සලේට් අඩංගු ආහාර නොගත යුතුය.
විටමින් A අඩංගු ආහාර ගත යුතුය.
ඔබේ ආහාර වේලට දිය ගතිය බහුල එළවළු වර්ග (පතෝල වැටකොලු කැකිරි පුහුල් වැනි), රාබු අක්කපාන, නීරමුල්ලිය, පොල්පලා, කෝලිකුට්ටු, පැණි කොමඩු, තැඹිලි, බාර්ලි, කොල්ලු, පරිප්පු, සීනි, සූකිරි, කිතුල් හකුරු, කූරතම්පල, පරණ ධාන්‍ය ආදිය එකතු කර ගන්න.
ඔබේ ආහාර වේලෙන් තක්කාලි, නිවිති, සාරන, බිලින්, කුඩා මාලු වර්ග, කුඩා කරවල වර්ග, කිරි, අබ විනාකිරි යෙදූ ආහාර වර්ග, කිරිපිටි ආදිය ඉවත් කරන්න.

No comments:
Post a Comment